ලක්දිව වීර සත්ව පරපුරේ ආරම්භකයා ලෙස කඩොල් ඇතු හැඳින්වීම යුක්ති සහගත වන්නේ අදින් වසර 2175කට පෙර පැවැති මෙරට ප්රථම නිදහස් සටනේදී ලක්දිව ඒකීයභාවය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ නිසාය
මහාවංසයට අනුව කඩොල් ඇතා යනු ගැමුණු කුමාරයා වෙනුවෙන්ම ඉපදුණු මංගල හස්ති රාජයෙකි. මහාවංශයේ එන පරිදි,
“ඒ බිසව් සුදුසු කළ පින්වත් උතුම් පුතෙකු වැදුවාය. රජ කුලෙහි මහත් ආනන්දය ද විය. ඒ කුමරහු පුණ්යානුභාවයෙන් එදවස් නා නා රත්නයන්ගෙන් සම්පූර්ණ නැව් සතෙක් ඒ ඒ රටින් අවුය. එම කුමරහු පින් තෙදින් ඇතෙක් තෙමේ ජද්දන්ත කුලයෙන් ඇත් පැටවෙකු ගෙනවුත් මෙහි තබා පලා ගියේය. තොට විල්තෙර පඳුරු අතුරෙහි සිටියාවු ඒ ඇත් පැටවා දැක කණ්ඩුල නම් බිලිවැදි රජහට දැන්වීය. එකෙණෙයි රජතෙමේ ඇතුන් බඳනවුන් යවා ඒ ඇත් පැටවා ගෙන්වා පෝෂණය කරවීය. කණ්ඩුල නම් තැනැත්තහු විසින් දුටු හෙයින් ඒ ඇත් කණ්ඩුල නම් වී. ” (මහාවංසය. පරි -22, ගාථා- 59-63)
මහාවංසයේ එන එම විස්තරය අනුව කණ්ඩුල ඇතු හමු වූයේ මාගම් පුරවරයේ සිටියදීය. එම විස්තරයේ සඳහන් ස්ථානය වර්තමාන රැකව කලපුව ලෙස හඳුනාගන්නා අතර ඇත් පැටවා අල්ලාගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිටි හෙයින් රැකව වූ බව ජනප්රවාදගත මතයයි. එසේම ඇත්පැටවා අල්ලාගැනීමට හැකි වුවහොත් එම ස්ථානයේ විහාරයක් කරවීමට කාවන්තිස්ස රජු භාරයක් වූ බවත් එම නිසා එම ස්ථානයේ කණ්ඩුල චෛත්යය ඉදි කළ බවත් ජනප්රවාදයේ සඳහන් වේ. එම චෛත්යය වර්තමානයේද කණ්ඩුල චෛත්යය ලෙස හැඳින්වීම මඟින් එම ජනප්රවාදයන්ගේ සත්යතාව වඩාත් තහවරු කරයි
වංශකථා ප්රකාරව එළාර රජු සමඟ යුද වැදීමට අකැමැති වූ කාවන්තිස්ස රජුට ස්ත්රී ආභරණ යැවීම නිසා රාජ උදහසට ලක් වූ ගැමුණු කුමරු රජ මාලිගයෙන් නික්මී එළාර රජුගෙන් රට මුදාගැනීමට සේනා රැස් කරන්නට විය. එම කාලයේ දී කාවන්තිස්ස උකුත් විය. සහෝදර තිස්ස කුමරු පිය රජුගේ ඇවෑමෙන් කණ්ඩුල ඇතුගේ භාරකාරත්වය හිමි කරගත්තේය.
පසුව හේ තම සොයුරාට බියෙන් මෑණියන් හා කඩොල් ඇතුද රැගෙන දිගාවැවට ගිය වග මහාවංසයේ පැනේ. ගැමුණු කුමරු කඩොල් ඇතු හා මෑණියන් තම භාරයට ලබාදෙන ලෙස තම සහොදරයාට හසුන් යැවුවද යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඔහුට විරුද්ධව යුද්ධයකට එළැඹුණේය. වර්තමාන යුධගනාව දැගැබ අසලදී වූ බව කියැවෙන එම සහෝදර සංග්රාමයෙන් පසු කඩොල් ඇතු ගැමුණු කුමරු යටතට පත් විය. ජනවහරට අනුව තිස්ස කුමරු පැරදී පලා යද්දී කඩොල් ඇතු ගැමුණු කුමරුට නමස්කාර කළේය. ඒ සමඟ ඔහුට මංගල හස්තියාගේ පක්ෂපාතිත්වය හිමි විය. එය රාජ්යත්වයේ සංකේතයක් ලෙස හැඳින්වේ
අනුරාධපුර ඉතිහාසයේ සූරතිස්ස රජුගෙන් පසු ද්රවිඩ පාලකයන් වෙත රජරට පාලන බලය හිමි විය. සේන හ ගුත්තික යන ද්රවිඩ පාලකයන් වසර 20ක් ද, අසේල රජු (සිංහල) වසර 16ක් ද ඉන්පසු එළාර රජු වසර 40ක් ද ලෙස වසර 76ක් ද්රවිඩ පාලකයෝ මෙරට පාලන බලය ගෙන ගියහ. යුද විරෝධී සාමකාමී රාජ ප්රතිපත්තියක් අනුගමනය කළ කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු ලක්දිව එක්සේසත් කර බුදුදහම නඟා සිටුවීමේ මෙහෙවර භාරගත් ගැමුණු කුමරුට එළාර රජු පැරදවූ දැවන්ත සටනේදී කඩොල් ඇතුගෙන් ලැබුණු සහාය මහාවංසයේදී ඉතා උත්කර්ෂවත් ලෙස අගය කර තිබේ. මහාවංසයේ 23 වන පරිච්ජේදයේ ආරම්භයේදීම කතුවරයා කඩොල් ඇතු හඳුන්වා ඇත්තේ,
“ ඒ කඩොලැත් තෙමේ බල ලක්ෂණ රුවින් හා තේජස් ජව ගුණයෙන්ද අග්ර වූයේ මහා කඳ ඇත් විය. ” (මහාවංසය. පරිඃ23, ගාථාඃ 1,2)
තවදුරටත් කඩොල් ඇතුගේ වීර ධීර ගුණාංග අගය කරන මහාවංස කතුවරයා,
දකුණු දොර කඩොලැතුය, නන්දමිත්රය, සුරනිමලය යන ඒ තුන්දෙනා ඉතිරි චාරිත්රයෙහි යුද්ධ කළෝය. ඒ නුවර වනාහි පරිබාත්රයක්ද උස් වූ පවුරු තොරණ්ය. ලොහොකම් කළ දොරය(යන මෙයින්) සතුරන් විසින් බිඳ හෙළිය හැක්කේ නොවේ. ඒ ඇත් තෙමේ දෙදණින් හිඳ දෙදළින් ගල්සුණු ගඩොල් බිඳ යදොරට පැමිණියේය. තොරණ හුන් දෙමළු අනෙක ප්රකාර ආයුධයන්ද කකියා ගිය ලොහො ගුළිද එසේම කකාල මැලියම්ද දැමූය. පිටලූ ලහට දුමන කල කඩොලැත් තෙමේ දුවමින් වේදනාවෙන් මිරිකෙමින් උදක ස්ථානයට ගොස් එහි ගිලිණි.”
“ගොඨයිම්බර තෙමේ මේ තට සුරාපාන නොවෙයි... යදොර හැරීමය. යව දොර බඳව”යි කීය. ඒ උතුම් ඇත් තෙමේ මන් උපදවා කුංචනාද කොට දියෙන් ගොඩ නැඟී එඩි ඇතිව ගොඩ සිට ගත්තේය. ඇත් වෙද තෙමේ ලහටු ගලවා බෙහෙත් කළේය. රජ තෙමේ ඒ ඇතු නැඟී අතින් කුම්භස්ථලය පිරිමැද “දරුව කණ්ඩුලය. මුළු ලක්දිව රජය තට දෙන්නෙමි”යි ඒ ඇතු තුටු කරවා වර බොජුන් කවා සළුවෙන් වෙලා මනා සන්නාහ ලවා සන්නාහ මතුයෙහි සත් ගුණ කළ මීසම් බඳවා ඊ මත්තෙහි තෙල් සම් එළවා ඒ ඇතු මෙහෙයි. ඒ ඇත් තෙමේ සෙණ හඬ මෙන් ගුගුරමින් උපද්රවයන් ඉවසමින් ගොස් දෙදළෙන් ලැහැලි බින්දේය. එළිපත පයින් පහලේය. දොරබා සහිත ඒ යදොර ගුගුරා ගෙන බිමහෙනි. ”
යුද්ධය අවසානයේදී එළාර රජු පර්වත ඇතු පිටද ගැමුණු කුමරු කඩොල් ඇතු පිටද නැඟී ද්වන්ධ සටනකට යොමු වන අතර එහිදී එළාර රජුගේ තෝමර පහරින් වැළකෙන ගැමුණු කුමරු කඩොල් ඇතු ලවා පර්වත ඇතුට දෙදළෙන් ඇන වට්ටවා එළාර රජුට තෝමර පහරක් දී මරණයට පත් කරන ලදි
එසේ දුටුගැමුණු රජු සමඟ ඉතා සමීපව කටයුතු කළ කඩොල් ඇතු පසු කලෙකදී තම ස්වාමියාගේ අකල් වියෝවෙන් කම්පා වීම නිසා රෝගාතුර විය. ඒ පිළිබඳ කම්පාවූ සද්ධාතිස්ස රජු ඇත්ගොව්වන්ගේ උපදෙස් පරිදි කඩොල් ඇතුගේ උපන් ප්රදේශය වූ මාගම් පුරවරයට ඇතු රැගෙන යන ලදි. එසේ රැගෙන යන අතරතුර දැඩි ලෙස රෝගාතුරවූ කඩොල් ඇතු යුධගනාව දාගැබ දෙසට නමස්කාර කරමින් මිය ගොස් ඇතැයි ජනවහර කියයි
- සිළුමිණ පුවත්පතේ පළවූ විශේෂාංගයක් ඇසුරෙන් උපුටා ගන්නා ලදී -
No comments:
Post a Comment