මහ සයුරට සම කළ හැකි තරමේ විශාලත්වයෙන් යුත් වැව් ඉදි කිරීමට කිසිදු බියකින් හා සැකයකින් තොරව සිංහල වාරිමාර්ග ශිල්පීන්ට හැකි වූයේ බිසෝ කොටුව නිර්මාණය ඔවුන්ට තිබූ හැකියාව නිසාය.
රටේ ජනගහනය වැඩිවීම නිසා වැඩි වශයෙන් ආහාර නිෂ්පාදනය කිරීමට එවකට රජවරුන්ට සිදු විය. රටේ දුර්භික්ෂවලට ඔරොත්තු දෙන ආකාරයේ වගා කටයුතු සිදු කර රට සහලින් ස්වයං පෝෂිත කිරීම එදා සිටි සෑම රාජ්‍ය පාලකයකුගේම අභිප්‍රාය විය.
ආමණ්ඩ ගාමිණී අභය රජු දක්ෂිණ දේශයෙහි ඉදි කරන ලද මහා ගාමෙන්ඩිවැව ද ඉලනාග රජු (35 – 44) රුහුණේ කරන ලද තිස්ස හා දුරතිස්ස නම් වැව් දෙක ද සදමුහුණු රජු විසින් අනුරාධපුරය අසල ඉදි කරනු ලැබූ මණිකාරගම වැව ද අයත්වන්නේ ක්‍රි.ව. පළමු සියවසේ මුල් භාගයටය.
ක්‍රි.ව. පළමුවන හා තුන්වන සියවස් අතර කාලයේදී විශාල වැව් තැනීමේ දී ස්වාභාවධර්මය අනුව භූමි නිර්මාණයක් තිබුණු බව වාරි කර්මාන්තයෙහි නිපුණ සිංහලයන්ට අවබෝධ විය. විශාල වැවක් ඉදි කිරීමේ දී සිංහල ඉංජිනේරුවන් ස්වාභාවික කඳු උපයෝගී කරගෙන වැව් නිර්මාණය කළ බවට සාක්ෂි අදත් දක්නට ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාහල්කඩ වැව ස්වාභාවධර්මයේ අපූරු දායාදයක් ලෙස හැඳින්වීම වඩාත් සාධාරණය. රාජාවලියේ වීරවාපී ලෙස හඳුන්වා ඇති මේ වැව සිංහල වාරි ශිෂ්ටාචාරයේ අද්විතීය නිර්මාණයක් ලෙස හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ එච්.සී.පී. බෙල් මහතා සඳහන් කර ඇත. යකිනි කන්දත් මාහින්න කඳුවැටියත් යාකරමින් බැඳ තිබෙන වාහල්කඩ වැවේ වැව් බැම්ම ඉතාමත් කෙටිය. කඳුවැටි හා උස්මිටි ප්‍රයෝජනයට ගනිමින් විශ්මිත ලෙස මෙය නිර්මාණය කර ඇත.
වාහල්කඩ වැව ඉදි කරන ලද්දේ වැව් විස්සක පමණ නම් වංෂකතාවල සඳහන් වේ. මේවාට අමතර තවත් වැව් එකසිය පනහක පමණ නම් සමකාලීන සෙල්ලිපිවලින් හෙළි වී තිබේ.
පළමුවන ජෙට්ටතිස්ස රජු (266 – 276) විසින් කරන ලද ගොලක්ගමු, මාටඩු, දෙමතුබඩ ගමු, බමුණුගම වැව් ද මහසෙන් රජු විසින් විශාල ප්‍රමාණයේ වැව් 16ක් ඉදි කරන ලද බව මහාවංශය හා රාජාවලියේ සඳහන් වේ. මහසෙන් රජතුමා විසින් ඉදිකරන ලද විශාලම වැව ලෙස මින්නේරිය වැව හැඳින්වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑවට නොදුරින් පිහිටා තිබෙන දැනට වල්බිහි වී ඇති මහාදාරනගල්ල වැව ඉදි කරන ලද්දේ ද මේ රජු විසින්මය. වර්තමානයේ මහාදාරක ගල්ල මහගල්කඩවල ලෙසින් හඳුන්වනු ලබයි.
එදා මහාදාරකගල්ල වැවෙන් කුඹුරු අක්කර දහස් ගණනක් යල මහ දෙකන්නයේ අස්වද්දවා රටේ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට මහ මෙහෙවරක් ඉටු කළ බව මහාවංශයේ සඳහන් වේ.
මහසෙන් රජු විසින් ඉදි කරන ලද මින්නේරිය වැවේ ජලය පිරුණු විට අක්කර 4670ක් පමණ ප්‍රදේශයක් යටවන අතර මෙයින් අක්කර 4100 පමණ ජලය සපයනු ලබයි. වසභ රජතුමා විසින් තනවන ලද ඇලහැර ඇළේ සිට ඇරඹුණු සැතපුම් 25.5 දිගු ඇළ මාර්ගයකින් මෙයට ජලය සැපයේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සුරාල්ල නොහොත් හුරුළු වැව ද ඉදි කරන ලද්දේ මහසෙන් රජු විසිනි. මිහින්තලය අසලදී කනදරා ඔයේ ජලය රඳවා කනදරාව ඉදි කරන ලැබුවේ ද මේ රජු විසිනි.
මහසෙන් රජුගේ වාරි කර්මාන්ත ව්‍යාපාරය ලක්දිව ඉතිහාසයේ නව යුගයකට මංපෙත් විවර කරවයි. ඔහුගේ වාරි කර්මාන්තය පිළිබඳ පූජාවලියේ මෙසේ සඳහන් කර ඇත.
“මහසෙන් රජතුමා යකුන් අතින් ද මෙහෙගෙන මණිනාහිර වැව (මින්නේරිය වැව) බඳවා දෙවිසත්විද ලකුණෙන් කුලවතු පබ්බත්ත ඇළ මිදුවා දීඝ පවා විසිදහසක් කුඹුරු කිරි කරලා..”
මේ රජු විසින් වාරිකර්මාන්තයට හා ගොවිතැනට කරන ලද උදාර මෙහෙවර නිසා අදත් මින්නේරිය දෙවියෝ යන නමින් හැඳින්වේ.
වසභ රජු ද ලක්දිව වාරි කාර්මාන්තයට උදාර මෙහෙවරක් කළ අයෙකු බව වංශකතා පෙන්වා දෙයි. ක්‍රි.ව. පළමුවන සියවසේ අග කොටසට අයත් සියලුම වැව් කරනු ලැබූ බවට සලකනු ලබන්නේ මේ රජු විසිනි. මොහු විසින් මයෙන්ති, රාජුප්පල, කොළඹගාම, මණික්කවට්ටි, මහරාමෙන්ති, කෝහාල ආදී වැව් එකොළහක් ද ඇළහැර ඇළ ඇතුළු තවත් ඇළ මාර්ග දොළහක් ද කරවන ලද බව මහාවංශයේ සඳහන් වේ. අනුරාධපුරයේ නුවර වැව ඉදිකරන ලද්දේ පළවැනි ගජබා රජු විසින් බව වැව් කණ්ඩිය පහළ තිබුණු සෙල්ලිපියකින් හෙළිවී තිබේ. අතීතයේදී නුවර වැව “නකරවව්” යනුවෙන් හඳුන්වා ඇත. මල්වතු ඔයේ දකුණු ඉවුර දෙසට පිහිටා ඇති නොගැඹුර තැනිතලා භූහිටන තනා ඇති මේ වැවත් දෙවනපෑතිස් රජතුමා විසින් ක්‍රි.පූ. තුන්වනසියවසේදී කරනලද තිසා වැවත් අනුරාධපුර සංස්කෘතියේ නගරවැසියන්ගේ ප්‍රයෝජනය සඳහා ජලය සැපයූ ප්‍රධාන ජලසම්පාදන ව්‍යාපාර දෙක වූවා නිසැකය.
අනුරාධපුර රාජධානි සමයේ ඉදි කෙරුණු මහා පරිමාණයේ වැවක් ලෙසින් පදවිය වැව හැඳින්විය හැකිය. දෙවන මුගන් රජු විසින් තනන ලද මෙය “විදිවාපී” ලෙස සෙල්ලිපිවල හඳුන්වා ඇත. දස වැනි හා එකොළොස් වැනි ශත වර්ෂවලදී පදවිය වාණිජ නගරයක් ලෙසින් පැවතුණු බවට තොරතුරු හෙළි වෙයි.
පොලොන්නරුවේ රාජ්‍යත්වයට පත් මහා පරාක්‍රමබාහු මහ රජතුමා එවකට පරසතුරු උවදුරු නිසා කැඩී බිඳී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් අලුත්වැඩියා කළ බවට සෙල්ලිපි ගණනාවකින්ම තොරතුරු ලැබේ. පදවිය වැව මුලින් තිබුණාට වඩා විශාල කොට ප්‍රතිසංස්කරණය කළ බව පදවිය වැව් කණ්ඩියේ තිබෙන ටැම්ලිපියකින් සනාථ වේ. වර්තමානයේ පදවිය වැවේ ජල ධාරිතාව අක්කර අඩි 85000කි.
ක්‍රි.ව. තුන් වන සියවසේ අගභාගයේ ආරම්භ වූ මහා පරිමාණයේ වැව් හා දීර්ඝ ඇළ මාර්ග ඉදිකිරීමේ කාර්යය, ඊළඟ සියවස් කිහිපයේ තවත් පුළුල්ව ගිය බව පෙනෙයි. ඒ යුගයේ රජ කළ පළමු වන උපතිස්ස (368 – 410), ධාතුසේන, දෙවන මුගලන් (535 – 555) හා දෙවන අග්ගබෝ යන රජවරුන් විසින් කරන ලද වාරිමාර්ග පිළිබඳ හැදැරීමෙන් දැන ගත හැකිය. පළමු වන උපතිස්ස රජු විසින් කරන ලද තෝපාවැව, ප්‍රධාන වැව් හයක් ගැන වංශකතාවල සඳහන්ව ඇත. එමෙන්ම ධාතුසේන රජු විසින් කරන ලද කලා, බලලු වැව් ප්‍රධාන වැව් දහ අටක් ගැන ද සඳහන් වේ. කලා වැවේ සිට සැතපුම් 54 දිග ජය ගැනනම් වූ මහා ඇළ මාර්ගය ද දෙවන මුගලන් රජු විසින් කරන ලද පත්තපාපුණා නම් වූ දැනට නාච්චාදූව නමින් හඳුන්වනු ලබන වැව ද පදවිය වැව ද මහා පරිමාණයේ නිර්මාණයන්ය.
අග්බෝ රජු (575 – 608) විසින් ද මිහින්තලය, කුරුන්නදී හා හිරිවඩුන්න යන වැව් ද මිණිපේ හා මින්නේරිය නම් ඇළ මාර්ගයක් ද හෙළ වාරි තාක්ෂණයේ මහිමයන් ලෙස හැඳින්වේ. ක්‍රි.ව. තුන් වන හා හත් වන සියවස අතර කාලය ඇතුළත ඉදිවුණු මහා පරිමාණයේ වැව් වැව් සංඛ්‍යාව තිස්පහක් පමණ වේ. අනුරාධපුර යුගයේ අවසාන කාලයේ සිට දොළොස් මහ වෑතැන් නමින් හැඳින්වුණු අතිවිශාල වැව් දොළොසින් වැඩි ගණනක් ඉදි වූ බව පෙනේ. එකල වැව් දියෙන් ලත් අස්වැන්න භික්ෂූන් වහන්සේලාගේ පාරිභෝජනය සඳහා ලබා දුන් බව සෙල්ලිපිවලින් හෙළි වෙයි. පළවන ගජබාහු (ක්‍රි.ව. 1026 _ 1042) රජුගේ පාලුමැකිච්චාව ගිරිලිපියේ වාරි කර්මාන්තය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්ම අඩංගු වේ. එමෙන්ම ථූපාරාමයේ භික්ෂු සංඝයාට සිව්පස ලබා ගැනීම සඳහා (පාරිභෝජනය) කිරීම සඳහා පූජා කළ බවයි.
මෙයින් අපට පෙනී යන වැදගත් කරුණක් වන්නේ එදා සිටි රජවරු රට කෘෂිකර්මාන්තය අතින් දියුණු කිරීමට පමණක් ප්‍රථම ස්ථානය ලබා දුන් බවත් ඒ හා සමානව ආගම දහමටද සැලකු බවත් මේ ලිපි තහවුරු කෙරේ. සිංහල වාරි තාක්ෂණය අනුව කලින් කලට වැව් හාරා ඒවායේ රොන්මඩ ඉවත්කිරීම සඳහා ද රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බව පාලුමැකිච්චව ගිරි ලිපියෙන් සනාථ වේ.
ක්‍රි.ව. තුන් වන සියවසේ සිට හත් වන සියවස දක්වා වූ යුගයේ දී මෙරට බිහිවුණු වාරිකර්මාන්ත දෙස බලන විට ඒ යුගය ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකිය හැකිය. මේ දීප්තිමත් යුගය දෙවන අග්බෝ රජුගේ අභාවයෙන් අවසන් විය. මේ රජුගේ ඇවෑමෙන් අවුරුදු හැටක් පමණ කාලයක් තුළ රටේ පැවැති වියවුල් නිසා මෙහි අලුතෙන් කිසිම වාරිකර්මාන්තයක් ඉදි වූ බව නොපෙනේ. එවකට පැවැති වාරි ජලාශ ද සිවිල් යුද්ධ හේතුකොට ගෙන අභාවයට පත්විය.
හත් වන සියවසේ දී මානවම්ම (684 – 718) අනුරාධපුරයේ රජවීමෙන් රටේ යළි සාමකාමී වාතාවරණයක් ගොඩනැඟිණි. එසේ වුවත් අලුතින් වාරිකර්මාන්ත බිහිකිරීමට අවස්ථාවක් උදා නොවුණි. එහෙත් නටබුන් වී ගොස් තිබුණු වැව් කිහිපයක් මේ රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. මානවම්ම රජුගේ රාජ්‍ය කාලයෙන් පසුව දහ වන සියවසේ අවසානය තෙක් බොහෝදුරට රටේ සාමය පැවතිණි. එම කාලයේ ඉදි වූ බව පෙනෙන්නේ වැව් කිහිපයක් පමණි.
සිංහල ඉංජිනේරුවන්ට වාරි තාක්ෂණය පිළිබඳ තිබුණු නිපුණතාවය උයන්වලට හා ආශ්‍රමවලට ජලය ගෙනයාමේදී උපයෝගීකරගෙන ඇති බව පෙනෙයි. අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් රජවරුන් පවත්වාගෙන ගිය බවට විශ්වාස කරන රන්මසු උයනට ජලය සපයන ලද්දේ තිසා වැවෙනි. තිසා වැවේ සිට උමං ජල පද්ධතියකින් මේ උයනේ පොකුණු කරා ජලය සපයා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන ලද ගවේෂණයක දී හෙළි වී තිබේ.
රාජකීය ස්නානය කරන ලදැයි සැලකෙන කෙළගෙය පිහිටි ගෘහය ආසන්නයේ ඇති පොකුණට ද ජලය සැපයෙන්නේ මේ උමං ජල පද්ධතියෙනි. පොකුණට ගලා එන ජලය පෙරීම සඳහා බිසෝකොටුවක් වැනි ක්‍රමයක් භාවිත කර තිබුණු බවට සාක්ෂි ඇත.
මේ රාජකීය උයනේ ඇතුන් දිය නාන කැටයමින් යුත් පොකුණට ද අනෙකුත් පොකුණුවලට ද ජලය සපයා ඇත්තේ මේ ජල පද්ධතියෙනි.
අනුරාධපුරයේ ආශ්‍රම ආශ්‍රිතව ඇති පොකුණුවලටද වාරි තාක්ෂණය උපයෝගී කරගෙන පැරැන්නන් විසින් ජලය සපයා ඇති බව පෙනෙයි. අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයේ දක්නට විවිධ ප්‍රමාණයේ පොකුණු වලට ද ජලය සපයා ඇත්තේ උමං ජල පද්ධතියක් උපයෝගී කරගෙනය.
අභයගිරි විහාර සංකීර්ණයේ ඇති දැවැන්ත ප්‍රමාණයේ ඇත් පොකුණට ජලය සපයා තිබෙන්නේ බසවක්කුලම වැවෙනි. භිකෂූන්ගේ ස්නානය සඳහා යොදාගෙන ඇති මේ පොකුණට උමං ජල පද්ධතියකින් ජලය සපයා තිබේ. එම ජලය පොකුණු තුළට ගලා ඒමට පෙර කුඩා ප්‍රමාණයේ බිසෝ කොටුවකින් පෙරී ඒමට පැරණි වාරිමාර්ග ඉංජිනේරුවන් කටයුතු සලසා ඇත. මේ ක්‍රමය හෙළ වාරි ශිෂ්ටාචාරයේ මහිමයක් ලෙස විද්වත්හු හඳුන්වති. ඇත් පොකුණ මෙන්ම කුට්ටම් පොකුණට ද ජලය සපයා තිබෙන්නේ ඒ ආකාරයෙනි.
පොකුණට ගලා එන ජලය පරිහරණය කිරීමෙන් පසු එම ජලය ඉවත් කිරීම සඳහා ද තාක්ෂණ ක්‍රමවේදයක් තිබුණි.
සිංහල වාරි ඉංජිනේරුවන් තුළ පැවති ශිල්පීය ඥානය පිළිබඳ පාකර්, බෝහියර් වැනි විද්වත්හු මවිතය පළ කරති. වර්තමානයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිංහලයන් ලෝකයට දායාද කළ ශ්‍රේෂ්ඨ වැව් පද්ධතිය දිනෙන් දිනම විනාශය කරා ගමන් කරමින් තිබීම බෙහෙවින්ම ශෝචනීයයි.
(දිණමිණ - පොතපත ඇසුරිණි)